කටුනායක අලුත් වෙයි

කටුනායක අලුත් වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සදහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ගනනාවක් ආරම්භ කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණි.

එම ව්‍යාපෘති අතර කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට “මිත්‍රත්ව” මාර්ගය විවෘත කිරීම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ මගී පර්යන්තය සදහා නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීම, පිටත්වීමේ මගීන් සදහා නව වාහන නැවතුම් අංගනයක් විවෘත කිරීම, ගුවන් තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය සදහා නව ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, ගුවන් තොටුපොළ විදුලි බල අවශ්‍යතා සදහා නව සූර්ය බල පද්ධතියක් (Solar System) විවෘත කිරීම, ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මගීන්ට, අමුත්තන්ට “මැග්ස්ටර්” මාර්ගගත ක්‍රමයට සගරා, පුවත් පත් කියවීමේ පහසුකම් විවෘත කිරීම, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” Wellcome To Sri Lanka ” නාම පුවරුව විවෘත කිරීම, ස්වයංක්‍රීය නව විගමන දොරටු පද්ධතිය නිරීක්ෂණය කිරීම ද සිදු විය.

මෙම නව ඉදිකිරීම් සහ ස්ථාපිත කිරීම් සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අරමුදල් ආයෝජන කර තිබූ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, කටාන ප්‍රාදේශීය සභාව සහ කටුනායක – සීදුව නගර සභාව සහ තවත් පෞද්ගලික ආයතන රාශියක් සහාය දක්වා තිබුණි.

මෙම නව අංග කටුනායක ගුවන් තොටුපොළ වෙත එක් වීම මගින් මෙම ගුවන් තොටුපොළ දකුණු ආසියාවේ හොදම කාර්යක්ෂම ගුවන් තොටුපොළක් බවට පත් වෙමින් පවතින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෙළෙඳ හා වානිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු, වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ යන මහත්වරුන් ඇතුළු විශාල ආරාධිත අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.

Share This