කරාතේ සහ මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හැරේ

කරාතේ සහ මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හැරේ

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ ජුලි මස 28 වැනි දින එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා විසින් කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා එම සංගමයේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කරනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ අත්හිටුවීම සිදු කළ ගැසට් පත්‍රය අවලංගු කර ඇති අතර, කරාතේ දෝ සම්මේලනයේ කටයුතු මීට පෙර පැවති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය වෙත පවරා තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය ද පසුගිය වසරේ අගෝස්තු මස 09 වැනි දින තාවකාලික ව අත්හිටුවා අතුරු කමිටුවක් පත්කිරීමට රොෂාන් රණසිංහ මහතා විසින් කටයුතු කර තිබිණි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අවලංගු කර එම සංගමයේ කටයුතු ද පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත පැවරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පියවර ගෙන තිබේ.

Share This