කන්දකාඩු කඳවුර යලි උණුසුම් – රැඳවියෝ 200ක් පලා යයි

කන්දකාඩු කඳවුර යලි උණුසුම් – රැඳවියෝ 200ක් පලා යයි

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ රැඳවියන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අද අළුයම රැඳවියන් 200කට ආසන්න පිරිසක් පලා ගොස් තිබේ.

යළි යළිත් කඳවුර තුළ සිදුවන ගැටුම් හා පලා යෑම් මේ වනවිට ප්‍රදේශයේ සමස්ථ ආරක්ෂක ක්‍රියාවලියටම ගැටලුවක් වෙමින් පවතී.

ඊයේ ගැටුම ඇතිවන විට කඳවුර තුළ 460ක් පමණ රැඳවියන් සිට ඇති ඇති අතර ගැටුම අතර තුර මෙම පිරිස පලා ගොස් තිබේ.

වාර්තාවන පරිදි ගැටුමට හේතුව වී ඇත්තේ මූලික පුනරුත්ථාපන කටයුතුවලින් අනතුරුව නවසේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත යොමුකළ රැඳවියන් 50කට ආසන්න පිරිසක් පුහුණුව නිම කිරිමෙන් පසු තාවකාලිකව කන්දකාඩු කඳවුර වෙත රැගෙන ඒමය.

එම රැඳවියන්ට එරෙහිව මේ වනවිට පුනරුත්ථාපනය වෙමින් සිටින නවක රැඳවියන් විසින් ගැටුමක් ඇති කරගෙන ඇති බව ආරංචි මාර්ග කියයි.

ගැටුම අතරතුර පලා යමින් සිටි රැඳවියන් 17ක් සුංගාවිල පාලම අසල ආරක්ෂක මාර්ග බාධකය අසල දී අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් 40ක පිරිසක් පලා යෑමෙන් පසු පොලිසියට භාර වී තිබේ.

පලාගොස් සැඟවී සිටින ඉතිරි රැඳවියන් කණ්ඩායම සෙවීම සඳහා පොලොන්නරුව, වැලිකන්ද සහ මනම්පිටිය පොලිසි එක් වී යුද හමුදාවත් සමග ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.