විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විදෙස් රැකියා

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විදෙස් රැකියා

ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එම විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීම සදහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ ඊයේ (05) පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබේ.

මෙහි පළමු අදියර ලෙස ඊශ්‍රායල් රාජ්‍යය වෙත ඉදිකිරිම් අංශයේ වෘත්තීන් කිහිපයක් වෙත මෙම රැකියා ප්‍රමාණය ලබාදීමට කටයුතු සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් විසින් මෙම රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම, විදේශගතවන්නන්ට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබාදීමට ද, කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

තවද, මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා වයස අවුරුදු 44ට අඩු සාමාජිකයින් තෝරා ගනු ලබන අතර, ඒ අයවලුන් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හරහා කෙටි පුහුණුවක් ලබාදීමටත්, ඔවුන් විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයකට මුහුණ දීමටත් සිදුවන බවත් දැන්වා තිබේ.