ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය නවතී

ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය නවතී

ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය වීම මේ වනවිට නැවතී ඇතැයි ස්තූපය නිරීක්ෂණය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජික, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර පවසයි.

ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පිපිරුම් වර්ධනය වී ඇත්තේ මීටර දශම දෙකක් වන අතර 2016 සිට 2020 දක්වා මීටර 12ක් සහ 2020 සිට 2023 දක්වා කාලය තුළ මීටර 9ක් වශයෙන් එම පැළුම් වර්ධනය වී තිබූ බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ජේතවනාරාම ස්තූපයේ පැළුම් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය කුෂාන් විජේසුන්දර මේ බව අනාවරණය කළේය.

ස්තූපයේ පිපිරුම්වලට මේ වන විට බදාමයන් යොදා සීල් කර ඇති අතර පැළුම් වර්ධනය වීම පාලනය කිරීම සඳහා ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාළ කිරීම වැදගත් බව ද මෙහිදී අනාවරණය විය.

ඉදිරියට පැමිණෙන වර්ෂා කාලයේදී මෙම පැළුම් වර්ධනය වීම වළක්වාලීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් අඛණ්ඩව අනුගමනය කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මෙහිදී පැවසීය.