ජෙරම් ගැන මල්වතු නාහිමිගෙන් ජනපතිට ලිපියක්

ජෙරම් ගැන මල්වතු නාහිමිගෙන් ජනපතිට ලිපියක්

දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර ගතයුතු සංසිද්ධියක් බවත් සඳහන් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා ඇත.

බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳවත් චේතාන්විතව සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ප්‍රකාශයක් කළ ආගමික අන්තවාදීන්ට විරුද්ධව වහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත කඩිනමින් උපදෙස් දීම පිළිබඳව ද මහනාහිමියන් එම ලිපිය මගින් ජනාධිපතිවරයාට ස්තුතිය පළකර ඇත.

පසුගිය දිනක බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳවත් චේතනාන්විතව සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ප්‍රකාශයන් සිදු කළ ආගමික අන්තවාදින්ට විරුද්ධව වහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමන් අදාළ අංශ වෙත කඩිනමින් උපදෙස් ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන්ම අපගේ ප්‍රසාදය පළ කර සිටිමු.

බුදුදහමේ උතුම් මානව කේන්ද්‍රීය ඉගැන්වීම් පිළිබඳ චේතනාන්විතව සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරමින් සංවිධානාත්මක පිරිස් ක්‍රියාත්මක වීම පිළිබඳ ජනාධිපතිතුමන්ගේ දැඩි අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. ධර්ම ද්වීපය යන විරුද නාමයෙන් පෙරාපර දෙදිග අතිසම්භාවනාවට පාත්‍රව වූ ශ්‍රී ලංකා ද්විපය ලෝකය තුළ සම්භාවනාවට පාත්‍රව ඇත්තේ උතුම් වූ සම්බුදු දහම් මූලික ස්වරූපයෙන් ආරක්‍ෂා කරන ධර්ම කෝෂ්ටාගාරය ලෙසයි.

එහෙත් රජය බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීමෙන් බැඳී සිටින පසුබිමක හුදු මනෝභ්‍රාන්තින් ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේට නිගා කරමින් ධර්මය පිළිබඳ විකෘති අර්ථකතන ඉදිරිපත් කිරීම ප්‍රවණතාවන් සමාජය තුළ නිර්මාණය වීම කනගාටුවට කරුණකි. මෙය බුදුදහම විනාශ කරමින් ශ්‍රී ලාංකේය සමාජයේ සදාචාරාත්මක වටිනාකම් අතුගා දැමීමේ ප්‍රයත්නයක ආරම්භ විය හැකිය.

දිවැසිවරයකු ලෙස තමන්ව හඳුන්වා දෙමින් ජේරම් ප්‍රනාන්දු නම් තැනැත්තකු විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියෙ සිදු කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙස සුළුකොට තැකිය නොහැකි වහා නිසි අණපනත් මගින් නීත්‍යානුකුල පියවර ගත යුතු සංසිද්ධියක් බව අපගේ විශ්වාසයයි.

බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂීත ශ්‍රී ලාංකේය සංස්කෘතිය සැමදා ජන විඤ්ඤාණය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා දී උතුම් මානව ගුණයන්ගෙන් පෝෂණය කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දීමට පදනම් වී ඇත. එහෙයින් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් බුදුදහම පිළිබඳවත් සාවද්‍ය විකෘති ආර්ථකතනයන් ඉදිරිපත් කරමින් සමාජ ගැටුම් නිර්මාණය කිරීමේ පටු අරමුණු පෙරදැරිව කටයුතු කරන මෙවැනි පුද්ගලයන්ට හා සංවිධානවලට විරුද්ධව වහා නීත්‍යානුකුලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.

මේ පිළිබඳ ජනාධිපතිතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතරම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා යි ආශංසනය කරම්හ.

Share This