ඇමැති ජීවන්ගෙන් බගවන්තලාව පොලීසියට සද්දයක්

ඇමැති ජීවන්ගෙන් බගවන්තලාව පොලීසියට සද්දයක්

තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සමග ඊයේ (24) බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට සහ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර තිබේ.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කලමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විසින් පසුගිය 22 වනදා සැකකරුව බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 23 වනදා හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සෙවුනු කලෙයිචෙල්වම් නමැති 28 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර, එහිදි බැංකුවේ නිලධාරින් විසින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.

එම අවස්ථාවේ උරණ වූ සැකකරු බැංකු සේවකයින් සහ කලමණාකාරවරයා සමග බහින් බස් වීමක් ඇති කරගෙන ඇති අතර එහිදී කලමණාකාරවරයා කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් උරණ වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඊයේ බගවන්තලාව නගරය වෙත  ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැදවා බැන තර්ජනය කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකල පොලිස් නිලධාරින් තිදෙනාට වහාම ස්ථාන මාරුවිම් ලබාදෙන ලෙසත්, එම නිලධාරින් තිදෙනාගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසද අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියාගෙන් ඔහු පදිංචි ප්‍රදේශය විමසා පසුව අමාත්‍යවරයා විසින් නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාට එම ස්ථානයේදි දුරකථන ඇමතුමක් ලබාගෙන එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සියළුම තොරතුරු ලබා දී ඔහු පිලිබදව බලාගන්නා ලෙසද සෙන්දිල් තොණ්ඩමන් මහතා වෙත උපදෙස් ලබාදුන් බවයි, එම ස්ථානයේ රැදි සිටි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියේ.

තවද සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට බගවන්තලාව නගරයේ සිට පොලිස් ස්ථානය වෙත ඉතා පරිස්සමෙන් යන ලෙස ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් පවසා ඇති අතර, එම යන අතුරතුර එම පොලිස් නිලධාරින් තිදෙනාට කිසියම් පිරිසක් පහර දිමට පවා හැකි බවද තොණ්ඩමන් මහතා පවසා ඇත.

බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දි ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර ඇත.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පොලිස් නිලධාරින් තිදෙනාට බැන වැද තර්ජනය කිරිම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් තිදෙනා ඔහුගේ සටහන් පොත් වල සටහන්ද තබා ඇත.