ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව අද (24) පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර සවස ඒ පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වේ.

අද පෙරවරු 9.30ට මෙම විවාදය ආරම්භ වීමට නියමිත අතර මේ සඳහා පක්ෂ විපක්ෂ දේශපාලකයන් සිය අදහස් දැක්වීමට නියමිතය.

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද සභාපති ජනක රත්නායක, රජය විසින් ඉදිරිපත් කළ විදුලිය ගාස්තු වැඩි කිරීමේ සංශෝධනයට සිය විරෝධය දැක්වීම ඇතුළු චෝදනා කිහිපයක් ගොනු කරමින් චෝදනා පත්‍රයක් සකස් කර තිබූ අතර එය පදනම කරගෙන ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් පියවර ගන්නා ලදී.

ඒ අනුව මෙම විවාදය අද දිනයට ගැනීමට තීරණය වූ අතර සභාපතිවරයා ඉවත් කිරීමට එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් යෝජනා සම්මත විය යුතුය.

මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ට මේ විවාදය සහ ඡන්ද විමසීම සඳහා සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් දන්වනු ලැබ ඇති අතර මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන්ද අවලංගු කිරීමට පියවර ගැනිණි.

Share This