ජාන මංකොල්ලයක නිරත වූ ඉරාන ජාතිකයන් 03ක් සහ ලාංකිකයෙක් අත්අඩංගුවට

ජාන මංකොල්ලයක නිරත වූ ඉරාන ජාතිකයන් 03ක් සහ ලාංකිකයෙක් අත්අඩංගුවට

මෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ.

තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.

සිංහරාජයේ, ලංකාගම ප්‍රදේශයේදී ඉරාන ජාතිකයන් තිදෙනෙකු හා ශ්‍රි ලාංකිකයෙකු නෙළුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබනුයේ මෙරට සිදු වු තවත් විශාල ජාන මංකොල්ලයක තොරතුරු රැසක්ද සමගිනි.

මෙම පිරිස සතුව තිබී කුඩාම කිනිතුල්ලන්ගේ සිට විශාල උරගයන් දක්වා විවිධ වර්ගවල ජීවී මෙන්ම අජීවී සත්ත්ව කොටස් එකතුවක් හමුවිය.

ඒ අතර, ගෙම්බන්, සර්පයන්, කෘමි සතුන් වර්ග, හතු වර්ග හා විවිධ ශාක කොටස් රැසක් මෙසේ ඔවුන් සන්තකයේ තබා ගෙන සිටියදී වනජීවී නිලධාරීන් සොයා ගෙන තිබිණි.

ඊට අමතරව සතුන් ඇල්ලීමට උපයෝගි කර ගන්නා මෙවලම් රැසක්, විදුලි පන්දම්, කාච වර්ග, පාරාජම්බුල කිරණ සහිත ලාම්පු ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ හා උපකරණ රැසක්ද වනජීවී නිලධාරීහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා මුලික තොරතුරු වනජීවී නිලධාරීන්ට ලබා දී තිබුණේ ලංකාගම ප්‍රදේශයක හෝටලයක සේවකයෙකු වු සමන් කුමාර මහතාය.