ඉරාන රජය හදිසි රැස්වීමක් කැදවයි – මීළඟ ජනපතිවරයා කවුද?

ඉරාන රජය හදිසි රැස්වීමක් කැදවයි – මීළඟ ජනපතිවරයා කවුද?

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කිරීමට කටයුතු කර තිබේ.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව නිල වශයෙන් අද නිවේදනය කළේය.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ට අනුව, ඉරාන රජය අද(20) “හදිසි රැස්වීමක්” කැඳවා ඇත.

IRNA විසින් බෙදා ගන්නා ලද ඡායාරූපයකින් පෙන්නුම් කළේ සාමාන්‍යයෙන් රයිසි වාඩි වී සිටින පුටුව හිස්ව ඇති අතර ජනාධිපතිවරයා සිහිපත් කිරීම සඳහා කළු ලෑල්ලකින් එය ආවරණය කර ඇති බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා මියගිය බවට මේ වන විට තහවුරු වී ඇති අවස්ථාවක මීළඟට ඉරානයේ නායකයා වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.

ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී මිය ගියහොත්, ඉරාන රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය හිමි උත්තරීතර නායකයාගේ තහවුරු කිරීමත් සමඟ පළමු උප ජනාධිපති බලයට පත් වීමට නියමිතයි.

ඒ අනුව දැනට පළමු උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මොහොමඩ් මොක්බර් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනිගේ ආශිර්වාදය යටතේ බලයට පත් වනු ඇති.

ඉන් අනතුරුව පළමු උප ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අධිකරණ ප්‍රධානියාගෙන් සමන්විත කවුන්සිලයක් උපරිම දින 50ක කාලයක් තුළ නව ජනාධිපතිවරයකු සඳහා මැතිවරණයක් සංවිධානය කළ යුතුයි.

නමුත් ජනාධිපති රයිසිගේ හදිසි අභාවය නිසා අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් යටතේ ඉරාන ජනාධිපතිවරණය එළඹෙන ජුලි මස පළමු සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.