ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්නට ඇති බව ඔවුහු අනුමාන කරති.

මේ අතර, එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ, හෙලිකොප්ටර් යානය කඳු මුදුනක ගැටී ඇති බවයි. කෙසේ නමුත් අනතුරට හේතුව පිළිබඳව නිල ප්‍රකාශයක් මෙතෙක් ඉරාන රජය විසින් සිදු කර නොමැත.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ, රයිසි ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කර තිබූ බවයි.

අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය අසල්වැසි අසර්බයිජානයේ සිට යළි ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබුණි.

ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පැවැසූහ.

ඉරාන ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් අසර්බයිජානයට ගියේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ ‘කිස් කලාසි’ සහ ‘කොඩාෆරීන්’ නමැති වේලි දෙක විවෘත කිරීම සඳහාය.

63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය.