නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනාධිපතිතුමා සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිය මතකයන් සිහිපත් කළේය.

2007 – 2010 කාලසීමාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමීපව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර සන්තොෂ් ජාහ් මහතා බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.