රුපියල් 35,000 ක දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ටත්

රුපියල් 35,000 ක දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ටත්

ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක අමතර දීමනාවක් ලබා දීමට අදාළ කඩිනම් පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.

ඒ අනුව එම කමිටුව පත් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා වෙත පවරා තිබේ.

බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව (DAT)ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබා දෙන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුලික කර ගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (22දා) උද්ඝෝෂණයක නිරත විය.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින් නියෝජිතයන් කිහිප දෙනෙකුට ඉල්ලීම් පිළිබඳ සාකච්ජා කිරීමේ අවස්ථාව දී තිබිණ.

ඒ අනුව බටහිර වෛද්‍යවරුන් හට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසත්, සීමාවාසික ආයුර්වේද වෛද්‍යවරුන් වෙත පුහුණු දීමනාව ලබා දෙන ලෙසත්, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමටත්, රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ගේ ගැටලුවට විසදුම් ලබා ගැනීම පිළිබඳවත් එහිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.