IMF ප්‍රධානියාගෙන් ජනපති අනුරට සුබ පැතුම්

IMF ප්‍රධානියාගෙන් ජනපති අනුරට සුබ පැතුම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහත්මිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගන්නා ලෙසයි.

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් සංවර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජෝර්ජියෙවා මහත්මිය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් විශිෂ්ට සම්බන්ධතාව බෙහෙවින් අගය කරන අතර එහි අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට එහි සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ස්ථිර හවුල්කරුවෙකු ලෙස සහ සහාය වීමට සූදානම් බව සහතික කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ඒ මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයකට ඇතුළු වූ දා සිට ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ගොඩනැගීම සඳහා ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු යැයි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ හා ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවූ ලිපියේ සඳහන්.