IMF වෙතින් සුබ පණිවිඩයක්

IMF වෙතින් සුබ පණිවිඩයක්

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබා දීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව සැලකීමේ අවශ්‍යතාවයට අනුකූලව මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කරහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා බලධාරීහු මේ සතිය මුලදී ප්‍රකාශ කළහ.

ඒත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ජූනි මස ලබාගැනීමේ බලාපොරොත්තුව කඩවන ලකුණුද පෙන්නුම් කළේය.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබූ අතර එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරයි.

එහිදි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු “සාර්ව සම්බන්ධිත බැඳුම්කර” සම්බන්ධයෙන් බව සඳහන්වේ.