විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක්

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරන අතර ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දිමට අපේක්ෂිතය.

ඉන් පළමු ක්‍රමවේදය වන්නේ, සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීමයි. දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමයි. තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමයි.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මගින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ ව සමීක්ෂණයක් සිදු කර ඇති අතර ඊට අයදුම්පත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

Share This