උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.

මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

“අද සහ ඉදිරි දිනවල තද රස්සනයක් අපිට දැනෙනවා. මේ සමඟම දාඩිය වැඩිපුර ශරීරයෙන් පිටවෙයි. දාඩිය සමග ලවණ සහ ජලය ශරීරයෙන් පිටවෙනවා. මේ නිසා අපි හැමෝටම අපහසුතාවයන් දැනෙනවා. වමනය, හිසරදය, ඇඟපත රිදෙන එක, නිදිමත ගතිය, නින්ද නොයන ගතිය, ආහාර අරුචිය, ක්ලාන්ත ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේවා වළක්වා ගන්න නම් අපි වැඩිපුර ජලය හා ලවණ අඩංගු පානය කළ යුතුයි. ස්වභාවික පාන වර්ග වන කැඳ වර්ග, දෙහි, දොඩම්, නාරං, තැඹිලි වතුර, කුරුම්බා වතුර, පොල්වතුර වගේ තමා හොඳ.”