කෝවිලේ දානය විස වී කුඩා දරුවන් ඇතුළු 120ක් රෝහලට

කෝවිලේ දානය විස වී කුඩා දරුවන් ඇතුළු 120ක් රෝහලට

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි හින්දු කොවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු වතු කම්කරුවන්ට කොවිලේ දන්සැලෙන් ලබාදුන් ආහාර පාර්සල් අනුභව කල වතු කම්කරුවන් , කුඩා දරුවන් ඇතුළු 120 දෙනෙකු (07) දින රාත්‍රියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කල බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

ක්ලාන්තය , වමනය , උදරයේ අබාධ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිව එම පිරිස මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කල බවත්, ඉන් 25 දෙනෙකු පමණක් තව දුරටත් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සෙසු රෝගින් රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.

රෝගි වු වැඩි පිරිසක් කාන්තාවන් බවත්, දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ තත්ත්වය බරපතල නොවන බවද වෛද්‍යවරයා පැවසිය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කිසිදු අවසරයක් හෝ අධික්ෂණයකින් තොරව බෝංචි , වට්ටක්කා , බටු සහ පතෝල යන ව්‍යාංජන සමග බත් පාර්සල් 2000 ක් සකස් කර වතු කම්කරුවන්ට බෙදා දි ඇති බවත්, එම ආහාර පාර්සල් (07) දින දහවල් වතු කම්කරුවන් බෙදා ඇති බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු කියා සිටියේ.

(07) දින රාත්‍රියේම එම වතුයායට ගොස් වතු කම්කරුවන්ට ලබාදුන් ආහාර පාර්සල් වල සාම්පල් ලබාගත් බවත්, එම ආහාර සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Share This