හෝමාගම අමුතු දුමක් – මුඛ ආවරණ පළඳින්නැයි උපදෙස්

හෝමාගම අමුතු දුමක් – මුඛ ආවරණ පළඳින්නැයි උපදෙස්

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස පහකට පෙර ගිනි ගත් රසායනයනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ කර්මාන්ත ශාලාවෙහි (07) දා රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් හටගෙන තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

දුමාරය හටගත් ස්ථාන වලට වැලි දමා අලුයම වන විට දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින් දැනුවත් කර ඇති බවත්, සියළුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වන ලෙසටත් පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.

මෙහිදී ගිනි ගැනීමක් හට නොගත් අතර කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් හතරක් පමණ අවට ප්‍රදේශය පුරා ක්ලෝරීන් දුගද සහිත අධික දුමාරයක් පැතිර යාමෙන් අවට ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා මතුවූ අතර කර්මාන්ත ශාලාවෙහි ආරක්ෂක නිලධාරීයකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉකුත් අගෝස්තු 17 දා පළමු වරට මෙම කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගත් අතර ඉන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී කෝටි ගණනක අලාභයක් සිදුව තිබුණි .

එහිදී මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ ක්ලෝරීන් වැසි ජලය හා මුසුවීමෙන් එහිදී ගින්න හටගෙන තිබූ අතර එහිදී නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ පරිසර අමාත්‍යාංශයෙන් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට විධිමත් අවසරයක් ලබා නොමැති බවට එහි බලධාරීන් චෝදනා එල්ල කෙරිණි .

ඒ අනුව අදාල ආයතන උපදෙස් දී තිබුණේ කර්මාන්ත ශාලාවේ අනවසර කොටස් ගලවා ඉවත් කරනා ලෙසටයි. ඒ අනුව එම භූමියේ අනවසරයෙන් ඉදිකර තිබූ කොටස් ගලවා ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණ ද එහි පොළොව මතට ක්ලෝරීන් මිශ්‍ර වී තිබේ.

මේ හේතුවෙන් (07) දා පස්වරුවේ සිට ඇදහැලුණු වර්ෂාව මෙම භූමියට පතිත වීමත් සමග ගොඩ ගැසී තිබූ ක්ලෝරීන් සහිත ස්ථාන වලට වැසි ජලය මුසු වීමෙන් සුළු වශයෙන් දුමක් හට ගැනීම ආරම්භ වී තිබේ.

පසුව ක්‍රමයෙන් එම දුම රාත්‍රී දෙක පමණ වන විට වර්ධනය වී අලුයම 04 පමණ වන විට අධික ලෙස දුමාරයක් හටගෙන එය ප්‍රදේශය පුරා පැතිර යන්නට පටන්ගෙන ඇති බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් කර්මාන්තශාලාවේ සිට කිලෝමීටර හතරක් පමණ අවට ප්‍රදේශය පුරා අධික දුමාරය සහ ක්ලෝරීන් දුගඳ පැතිර තිබූ බව ජනතාව පවසති.

පසුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් හා ජල බහුසරයක් ගෙන්වාගෙන ගින්නක් හට ගතහොත් එය නිවා දැමීමට සූදානමින් සිටිනු දක්නට ලැබු අතර ගිනි නිවන භටයින් දස දෙනෙකු පමණ පැමිණ ඔක්සිජන් භාවිතා කරමින් කර්මාන්ත ශාලා භූමිය තුළට ගොස් දුමාරය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී පැතිරෙමින් තිබූ අධික දුමාරය පාලනය කිරීම සඳහා වැලි ලොරි විස්සකට අධික ප්‍රමාණයක් ගෙනැවිත් දුමාරය පැතිරෙමින් තිබූ ස්ථාන වලට දමා අලුයම වන විට දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පැවසේ .

මෙම අවස්ථාවේදී ස්වසන අපහසුතා ඇතිවූ කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව පැවසේ .

මේ හේතුවෙන් කටුවාන කර්මාන්තපුරයට ඇතුළුවන මාර්ග දෙකෙහි පොලිස් මාර්ග බාධක යොදා පැය දෙකක පමණ කාලයක් කිසිවකුට ඇතුළුවීමට අවසර නොදෙනු දක්නට ලැබුණි.

මීට අමතරව කටුවාන කර්මාන්ත පුරය අවට පදිංචිකරුවන් පානීය ලිං භාවිතා කිරීමේදී සැලකිලිමත් වන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හෝමාගම පොලිසිය හා ජනතාව යුහුසුළුව කටයුතු කර තබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති

Share This