ඩුබායි ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය වීදුරුවක් ඉරිතලා යාම නිසා යළි කටුනායකට එයි

ඩුබායි ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය වීදුරුවක් ඉරිතලා යාම නිසා යළි කටුනායකට එයි

ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ගුවන් මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

එහෙත් මෙම ගුවන් යානය පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාදවීමකට ලක් වීමෙන් අනතුරුව ඊයේ (08) උදෑසන 09.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

නමුත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් ඊයේ උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා ගෙන පැමිණීමට ගුවන් නියමුවා කටයුතු කර තිබුණි.

එයට හේතු වී තිබුණේ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ඉදිරිපස ඇති (සුළං මුවාව) වීදුරුව (Windscreen Crack) ඉරි තැලීමකට භාජනය වීමය.

මෙම සිදුවීම වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපව, එරට පසු කිරීමට ආසන්නව ගමන් කරමින් තිබී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

පසුව මෙම ගුවන් යානයේ ගමන් ගැනීමට නියමිතව සිටි ගුවන් මගීන් පිරිස (08) ඊයේ රාත්‍රී 07.40 ට වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් සහ තවත් වෙනත් ගුවන් යානා කීපයකින් ඩුබායි වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

Share This