මහින්දානන්ද – ගුණතිලක ගැටුම ගැන ප්‍රකාශ ලබා ගැනීම ඇරඹේ

මහින්දානන්ද – ගුණතිලක ගැටුම ගැන ප්‍රකාශ ලබා ගැනීම ඇරඹේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

පසුගිය සඳුදා පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.

අදාළ පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බව ද රාජපක්ෂ මහතාගේ කට උත්තරයේ සඳහන් වේ.

පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරා‍හේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට පෙරේදා (5) ඇතුළත් කරනු ලැබීය.

Share This