ග්‍රාම නිලධාරි සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්
නව ග්‍රාම සේවා නිලධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මස 13, 14 සහ 15 යන තෙදින පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව, ග්‍රාම නිලධාරීන් 2002 දෙනකු ඉතා කඩිනමින් රාජ්‍ය සේවයට එක් කර ග්‍රාම නිලධාරිවරුන්ගේ පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින්ගේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (28) එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, 2023 දෙසැම්බර් මස 02 වැනි දින පැවැති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් 4232ක් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වීමට නියමිත අතර සම්මුඛ පරීක්ෂණයට අදාළ ලිපි විභාගය සමත් පුද්ගලයන්ගේ ලිපින වෙත ඉදිරියේදී යොමු කිරීමට නියමිතය.
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු වන චලංක අතුකෝරල, චතුර කුමාරතුංග, ප්‍රාදේශීය ලේකම් එස්. එම්. පී. නන්දසේන යන මහත්වරු එක්ව සිටියහ.