කුඹුරු සිතියම්ගත කිරීමට කිසිවෙකුටත් මුදල් දෙන්න එපා – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
රටේ කුඹුරු ඉඩම් කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න සහ කුඹුරු ඉඩම්වල සත්‍ය ප්‍රමාණය මැනීම සඳහා GEO Goviya යෙදවුම ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරීම කරනු ලබයි.
මෙම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන අතර, අදාල කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කිසිඳු මුදලක් අය කරන්නේ නැතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගෙන් මුදල් අයකරන බවට වාර්තා වී ඇති අතර පොල්පිතිගම රඹේ ප්‍රදේශයේ ගොවීන්ගෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවට ලැබුණ පැමිණිලි අනුව වහාම විමර්ශනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.
කුඹුරු සිතියම්ගත කිරීම සඳහා යම් පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් වහාම දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයාට දැනුම්දෙන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි.