“අපිට 20,000ක් ඕනේ, නැතිනම් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නවා”

“අපිට 20,000ක් ඕනේ, නැතිනම් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නවා”

අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට රුපියල් විසිදහසක දීමනාව අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් සඳහන් කරමින් ඊයේ (06) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දුන් බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සඳහන් කරයි.

අදාළ සංදේශයේ පිටපතක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමට කටයුතු කළ බවත්, ජනාධිපතිවරයාට භාර දිමට සකස් කළ සංදේශය මුදල් අමාත්‍යාංශ නියෝජිතයකු විසින් භාර ගත් බවත් එම එකමුතුවේ කම්ටු සාමාජික සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට කීයක් හරි වැඩි කරන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සඳහන් කරන බවත්, තවත් ඇමතිවරුන් පිරිසක් විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමට මුදල් නොමැති බවට ප්‍රකාශ කරමින් සිටින බවත්, මේ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ගැටලු ඇතිවී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ගෑස් මිල, විදුලිබිල, ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, මේ නිසා ලබන ජනවාරි මස සිට රුපියල් විසිදහසක දීමනාවක් අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් සුළු මුදලක් ලබා දීමෙන් පවතින ගැටලු විසඳා ගත නොහැකි බවත් සඳහන් කළේය.