රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මේ අනුව, පළමු ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, වතු හා ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව එම සංගමයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

දෙවන ක්‍රියාමාර්ගය ලෙස ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් ඉන්පසුව වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා හා රාජ්‍ය දේපළ විකිණීම නවතා දමන ලෙස හා අධ්‍යපන ප්‍රතිසංස්කරණ සිදුකරන මුවාවෙන් අධ්‍යාපනය විකුණා දැමීමට සිදුකරන සැලසුම් අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ග සිදුකරන බවද සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ ඉහළ ශ්‍රේණිවල පිරිස්වලට පසුගිය කාලය පුරාම මූලික වැටුප් හා දීමනා ඉහළ දමා තිබෙන බවත් එහෙත් පහළ ශ්‍රේණිවල පිරිස්වලට 2016 වසරින් පසු මූලික වැටුප් ඉහළ දමා නොමැති බවත් පසුගිය කාලය තුළදී යම් යම් දීමනා ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ බවද පවසා සිටියේය.

මේ නිසා රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් පහළ ශ්‍රේණිවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට දැනට හිමිවන වැටුප මේ වන විට ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවද ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

Share This