ගිරිතලේ වෙඩිවැදුණු තරුණිය මරුට

ගිරිතලේ වෙඩිවැදුණු තරුණිය මරුට

පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ 17 හැවිරිදි තරුණිය මියගොස් තිබේ.

40 හැවිරිදි පුද්ගලයෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔහු හා තරුණිය අතර තිබු පෞද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 8.45ට පමණ වෙඩිතැබීම සිදුවී තිබුණි.

ඝාතනයට ලක්වූ තරුණිය වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සමග කලකට ඉහතදී ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර පසුව මීට වසර දෙකකට ඉහතදී ඔහු සමඟ එක්ව විසීමට නිවසකට ගොස් තිබේ.

කෙසේ වෙතත් එම තැනැත්තාගෙන් නිතර සිදුවූ කරදර හා හිරිහැර හේතුවෙන් තරුණිය යළි සිය මව්පියන්ගේ නිවසට පැමිණ ඇත්තේ මීට සති කිහිපයකට පෙරය.

පසුව එම පුද්ගලයා යළි තමා සමඟ වාසයට පැමිණෙන ලෙස තරුණියට අවස්ථා ගණනාවකදී බලපෑම් කළද තරුණියට ඊට කැමැත්ත පළ කර නොමැත.

එවැනි පසුබිමක අදාළ තරුණිය ඊයේ රාත්‍රියේ සිය මව සමග අසල්වැසි නිවසක රාත්‍රියේ අවුරුදු සාදයකට සහභාගිවීමට ගොස් තිබුණි.

එම ස්ථානයට පැමිණි සැකකරු හෙවත් 40 හැවිරිදි පුද්ගලයා තරුණියට වෙඩිතබා පළා ගොස් ඇත.

ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු සොයා මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share This