පස් කඳු කඩා වැටී ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

පස් කඳු කඩා වැටී ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ගිනිගත්හේන දියගල ප්‍රදේශයට අද (27) අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට ගල් සහ ගස් සමග පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය උදැසන සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් සහ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දියගල ටැප්ලෝ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල්, ගස් සහ පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර ඇති බවත්, මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන හැටන් හරහා ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වලට සහ අතුරු මාර්ග වලට පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Share This