ඉන්ධන කෝටාව ගැන ගත්ත අලුත්ම තීරණය

ඉන්ධන කෝටාව ගැන ගත්ත අලුත්ම තීරණය

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

ඊයේ (24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, සතියකට විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද, යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද

බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද, කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද වැඩි කර ඇත.

ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.