කෝටි 15ක් වටිනා විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි

කෝටි 15ක් වටිනා විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි

කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් වීමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10,000කට ආසන්න ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පාන්පිටි මිනිස් පරිභෝජනයට නුදුසුදු බවත් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් තිබු බවට තොරතුරු ලැබුණු බවද එම කාර්යාලය කියයි.

ඉතා විශාල ගබඩවක එම පාන්පිටි තොගය ගබඩා කර තිබූ අතර එහි කිලෝ 25 සහ 50 තරමේ පාන් පිටි ගෝනි 10,000කට අධික ප්‍රමාණයක් තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරීහු පැවැසූහ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදු කළ ක්ෂණික වැටලීමකදී මෙම පාන් පිටි තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.

අපනයනය සදහා ගම්මිරිස් වියළා සකසනු ලබන මහපරිමාන මෝලක එම පාන් පිටි තොගය ගබඩා කර තිබී ඇත.

එම පාන් පිටි තොගය කල් ඉකුත් වීමට ආසන්න වන අතර විදේශ රටක නිෂ්පාදිත ඒවා බවට ද එම ඇසුරුම්වල සදහන් වෙයි.

ගුල්ලන් සහිත එම පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී වස යොදා ගුල්ලන් මර්ධනය කර යළි සකසා විදේශ රටක නිෂ්පාදිත බවට හා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අළුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා විදේශයකින් ආනයනය කළ පාන් පිටි සේ යළි බෙදා හැරීම සිදු කෙරෙන බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශණවලදී අනාරවරණය කරගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Share This