ඉදිරි පැය 24 අවදානම් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 අවදානම් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලත් මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

අද උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 152ක වර්ෂාවක් ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.

එම කාලසීමාව තුළ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 138.5ක වර්ෂාපතනයක්, වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර් 122.5ක වර්ෂාපතනයක්, අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 96.2ක් වර්ෂාපතනයක් ලැබී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.