උසස් පෙල කල් දැමුවොත් සිදුවන දේ ගැන අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

උසස් පෙල කල් දැමුවොත් සිදුවන දේ ගැන අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

විභාග කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත.

පසුගිය වසර වල කොරෝනා වසංගතය,ආර්ථික අර්බුද ආදිය නිසා ද විභාග කල් යාම මෙන්ම පාසල් අධ්‍යාපනයේ ඇණහිටීම් සිදු වූ බව අධ්‍යාපන විශේෂඥයන් සිහිපත් කර තිබේ.

2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුවහොත් එම වසරේ මාර්තු, අප්‍රේල් වල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි,ජුනි දක්වා කල් තැබීමට සිදුවනු ඇතැයි ද 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසය තෙක් පමා වන අතර එවිට 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට ද මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදු වනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් 2024 අපොස උසස් පෙළ විභාගය නැවත 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇතැයි ද මේ වන විටත් ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තව දුරටත් පමා වනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.

විභාග කල් දැමීමෙන් පාසල් වාර සටහන් ප්‍රමාද වීම, පාසල් වලට දරුවන් ඇතුලත් කරගැනීම ප්‍රමාද වීම,11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට යම් වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීමෙන් පන්ති කාමරවල ඉඩකඩ ප්‍රශ්නයක් ද ඇති වීම, උසස් පෙළ ප්‍රවේශය ප්‍රමාදවීම, විදේශ විශ්ව විද්‍යාල සදහා ඇතුලත් වීමේ කාලය ප්‍රමාද වීම,විදේශ විශ්ව විද්‍යාල මගින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම ,රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ප්‍රමාද වීම වැනි දිගු කාලීන ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දරුවන් උසස් පෙළ විභාගය සඳහා අවුරුදු 18 වන විට පෙනී සිටිය යුතු වුවද විභාග කල් යෑම නිසා එම වයස ඉක්මවා ගොස් තිබෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.

Share This