බස්නාහිර පළාතේ අත්හිටවූ 10 සහ 11 ශ්‍රේණිවල විභාග අද සිට

බස්නාහිර පළාතේ අත්හිටවූ 10 සහ 11 ශ්‍රේණිවල විභාග අද සිට

බස්නාහිර පළාතේ පාසල්වල තාවකාලිකව අත්හිටුවා තිබූ 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාගය පැවැත්වීමට පෙර, විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් නව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන් අනතුරුව අද සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.