අධි ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ.

සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහකි. ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි. ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට මේ අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2553ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ‘බුදුසරණ’ පත්‍රයට ‘අධි පොහොය යනු කුමක්ද?’ යන මැයෙන් ලිපියක් සම්පාදනය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමිව වැඩ හුන් බෙල්ලන ඤාණවිමල මහනාහිමියෝ ඒ පිළිබඳව ඉතා පැහැදිලි විග්‍රහයක් මෙසේ කර තිබිණි:

“එකල විසූ මනුෂ්‍යයාට වසර සිය ගණනක් ගණන් කිරීමට අවශ්‍ය වූයේ හඳ පෙනෙන වාර ගණන එකතු කිරීමෙනි. පුරසඳ ගණනින් මාස ගණන් ගැනිණි. පුර සඳ දොළහක් ගත් විට වසරක් ලෙස ගණනය කැරේ. සූර්ය මාස ගණන් කිරීම ඇරැඹීමෙන් පසු මෙහිදී ඊට වඩා වැඩියමක් කිරීමට සිදු වී ඇත. පුර සඳ දොළහක් ගත වූ විට දින 354ක් හෝ දින 355ක් ගත වී ඇත. සූර්යා වටා පෘථිවිය ගමනයට දින 365ක් සහ දින 1/4ක් වැය කැරේ.

මේ ගමනාගමනයට සම්මත කාලය බෙදීමක් අවශ්‍ය හෙයින් ඉහත කී අයුරින් වැඩි වන දින කිහිපය ‘අධික මාසය’ යැයි නම් කර එක් වසරකට එක් කරනු ලැබේ. සාමාන්‍ය වශයෙන් වසරකට පසළොස්වක පොහොය දොළහකි. එම පොහොය දොළහට නම් දොළහකි. වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින්, බක් එම පොහොය දොළහ හැඳින්වෙන මාස වේ. අධි පසළොස්වක යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි. බුදු සිරිත ප්‍රධාන ඓතිහාසික ශාසනික සිදුවීම් මුල් කරගෙන පොහොය දොළහ හැඳින්වේ. එහෙත් අධි පසළොස්වක පොහොය එබඳු ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නොවේ.’’ (බුදුසරණ, 2010.4.28).

මේ අනුව සිදුහත් බෝසතුන් මවුකුස පිළිසිඳගැනීම, මහාභිණිෂ්ක්‍රමණය, පස්වග මහණුන්ට දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම ආදි ශාසනික සිදුවීම් රැසකට අදාළ සැමරුම යෙදෙනුයේ මේ අධි පසළොස්වක් පුන් පොහෝ දිනට නොව, ලබන අගෝස්තු 1 අඟහරුවාදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක් පොහොය දිනටය.

Share This