
ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිණිපිරිය කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කරයි!
කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක පසුගිය 07 වැනි දා සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක් මියගොස් ඇති බව කැනඩාවේ CBC පුවත් සේවය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ, යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිණිබිරියක් වන රගුදාස් නිලක්ෂි නැමති තරුණිය බවට හඳුණා ගෙන තිබේ.
ඇය යාපනය – ගොන්ඩා, බටහිර කල්වීටුහි පදිංචිව සිට හැදී වැඩි මීට දෙවසකට පෙර කැනඩාවට ගොස් තිබිණි.
යෝර්ක් ප්‍රාදේශීය පොලිසිය පවසන පරිදි, අධිවේගී මාර්ග 48 සහ කාසල්මෝර් මාවත අසල සොලස් පාරේ නිවසක සිකුරාදා උදෑසන 6:30 ට පමණ වෙඩි තැබීම සිදු වී තිබේ. මියගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේය.
එම නිවසට මීට පෙර අවස්ථා තුනක දී වෙඩි තැබීම් සිදුව තිබුණු බව පොලිසිය පවසයි. ඒ 2024 පෙබරවාරි මාසයේදී එක් වරක් සහ මාර්තු මාසයේ දෙවරක් වශයෙනි.
එම සෑම අවස්ථාවකදීම සැකකරුවන් නිවසට වෙඩි තබා ඇත්තේ දුරක සිට වන අතර ඒ කිසිම අවස්ථාවක සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී නැත.
සිකුරාදා සිදු වූ වෙඩි තැබීමේදී රඝුදාසන් නිලක්ෂි මියගොස් එම නිවසේ සිටි 26 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඔහුගේ තුවාල බරපතල වුවද ජීවිත අවදානමක් නොමැති බව පොලිසිය පවසයි.
නිවසේ ආරක්ෂාවට සිටි ජර්මන් ෂෙෆඩ් වර්ගයේ සුනඛයෙකුටද තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබේ.
වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතර දෙනෙකු නවීන පන්නයේ කැබ් රථයකින් පලා ගොස් ඇති බව සී.සී.ටීවී කැමරා පද්ධතියක සටහන්වී ඇති බව කැනේඩියානු පොලීසිය සඳහන් කර තිබේ.
මේ දක්වාම කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
පොලිසිය පවසන්නේ සැලසුම් සහගත ඝාතනයක් සේ සලකා විමර්ශන කරගෙන යන නමුත් ඝාතනයට හේතුව කුමක්දැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවය.