ආර්ථික අර්බුදය නිසා වසරකට භික්ෂූන් 2000කට අධික පිරිසක් සිවුරු හැරලා

ආර්ථික අර්බුදය නිසා වසරකට භික්ෂූන් 2000කට අධික පිරිසක් සිවුරු හැරලා

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එහි තීරණාත්මක ගොදුරක් බවට පත්වීම මෙලෙස උපවැදි වීමට ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇතැයි ද චම්පික රණවක මහතා කීය.

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව එම කරුණු පැහැදිලි වන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වනදා ජනගත කරන ලද ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත පිළිගන්වමිනි.

එහිදී එම ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල යටතේ මෙරට ආර්ථිකය යළි ස්ථාපිත කිරීම පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් පාඨලී චම්පික රණවක මහතා, IMF ණය ආධාරය, මෙරට හා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය, බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම, රාජ්‍ය ආයතන කළමනාකරණය, මේ වනවිට විශාල අර්බුදයකට ලක්ව ඇති බදු අය කිරීම එක් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් නිවැරදි මාවතකට ගැනීම මෙන්ම බදු පැහැර හරිමින් රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකර ගැනීම ඇතුළු අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රට ස්ථාවර කරන කරුණු රැසක් ගෙනහැර දැක්වීය.

එමෙන්ම පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා මේ සඳහා කැපවී කටයුතු කලහොත් අප රට යළි ස්ථාවර කිරීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය නොමසුලුව ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.