කුඩු පැකට් එකක් උගුරේ සිරවී ජාවාරම්කරුවකු මරුට

කුඩු පැකට් එකක් උගුරේ සිරවී ජාවාරම්කරුවකු මරුට

හලාවත රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පොලීසිය විසින් ඇතුලත් කළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට හලාවත මහේස්ත්‍රාත් ශෂිතද සිල්වා මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව අද (07) දින වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ හලාවත රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බංඩා මහතා පැවසුවේ, මෙම මරණය උගුරේ පොලිතීන් ආවරණයක් සහිත පාර්සලයක් සිරවීමෙන් ඇති වූ ශ්වසන ආබාධ හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ, හලාවත, රත්නඋයන පදිංචි, මරිස්ස පටබැදිගේ ප්‍රභාත් අබේවීර නැමති පුද්ගලයෙකි.

පොලිස් පරීක්ෂණ වලට අනුව මෙම පාර්සලයේ හෙරොයින් මිලී ග්‍රෑම් 5000ක ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.

ඉකුත් 06 වනදා හලාවත පම්බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පෙරවැරදි ගණනාවකට චෝදනා ලබා සිටි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පම්බල ප්‍රදේශයේ සැරිසරන බවට මාදම්පේ
පොලීසියට සහ හලාවත කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය ඒකකයට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී සැකකටයුතු ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ත්‍රීරෝද රථයෙන් පැන පලාගිය බව පොලීසිය පවසයි.

අනතුරුව පොලිස් නිළධාරීන් කණ්ඩායම සැකකරුවන් හඹායාමේදී එක් සැකකරුවකු අතුරු මාර්ගයකදී බිම ඇද වැටී නැගිට නැවත බිම ඇද වැටී ඇතිවු අසනීප තත්වයක් හේතුවෙන් විමරෂණ කණ්ඩායම විසින් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇත.

සුලුවේලාවකින් සැකකරු මරණයට පත්ව ඇති අතර පැනගොස් සිටි දෙවන සැකකරු එම ස්ථානයට නුදුරින් මඩවලක සැගව සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එම සැකකරුඅත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණය සමබන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලීසිය පවසයි.