ප්‍රබල මන්ත්‍රීගේ මැදිහත්වීමෙන් වැටලූ දැවැන්ත හොර අරක්කු නිෂ්පාදනාගාරය

ප්‍රබල මන්ත්‍රීගේ මැදිහත්වීමෙන් වැටලූ දැවැන්ත හොර අරක්කු නිෂ්පාදනාගාරය

දොම්පේ, කළුකොඳයාව ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් බෝතල් සමඟ සැකකරුවන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී, ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් යොදා අලෙවි කිරීමට සූදානම් කර තිබූ අරක්කු බෝතල් 6000 කට වැඩි ප්‍රමාණයක්, කාලේ බෝතල් විශාල ප්‍රමාණයක්, ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල්, ස්ටිකර් ඇතුළු උපකරණ රාශියක් ද, පොලිසිය බාරයට ගෙන තිබේ.

දොම්පේ, කළුකොඳයාව ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රියාන් නිශ්ශංක වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

මෙම නීති විරෝධී අරක්කු නිෂ්පාදන ස්ථානය කවර පුද්ගලයෙකුට අයත් ද, යන්න පිලිබඳව මේ වන විට විමර්ශණ සිදු කෙරෙමින් පවතින අතර කෙසේ වෙතත් මෙම ස්කාරාගර වැටලීම පිටුපස ඇත්තේ ලොකු කතාවකි.

මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව මගින් සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කරනු ලැබූ සොයා බැලීමක දී සුරාබදු ආදායම ඉතාම පහළ මට්ටමක තියෙන බවත්, හිඟ බදු ගෙවීම් මහා පරිමාණයෙන් පැහැර හැර ඇති බවත් හෙළිව තිබේ.

ව්‍යාජ ස්ටිකර් යොදමින් මත්පැන් අලෙවිය තුළින් රජයට ලැබීමට නියමිත ආදායම හොර පාරෙන් තමන් වෙත ලබා ගැනීමට මත්පැන් සමාගම් කිහිපයක් කූට ලෙස කටයුතු කර ඇති බව සොයාගෙන තිබෙන්නේ ඒ අනුවයි.

එලෙස ව්‍යාජ ස්ටිකර් යොදා මත්පැන් විකුණන ස්ථාන 38 ක් රට පුරා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් මන්ත්‍රී පාඨලී චම්පික මහතාට රහසිගතව දැනුම් දී තිබේ.

ඒ අනුව දොම්පෙ ප්‍රදේශයේ මහා පරිමාණෙන් පවත්වාගෙන ගිය මෙම හොර මත්පැන් නිෂ්පාදනාගාරය වටලා ඇති බව ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ක්‍රම විධි කමිටුව රැස්වුනු අවස්ථාවේ සුරාබදු ප්‍රධානීන් පෙන්වා දී තිබෙන්නේ බිලියන ගණන් වංචා කල මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් හේතුවෙන් සුරාබදු ආදායම ඉතා පහල අගයකට ගොස් ඇති බවයි.

මේ අතර බැංකු වල ව්‍යාජ නෝට්ටු පරීක්ෂා කිරීමේ තාක්ෂණය පිලිබඳ දන්නා පුද්ගලයෙක් මෙම මත්පැන් බෝතල් වල ඇති ස්ටිකර් නිවැරදි හෝ ව්‍යාජ ස්ටිකර් ද යන්න පිලිබඳ සොයා ගන්නා තාක්ෂණය තමන් සතුව ඇති බව පවසා ඇති අතර, මන්ත්‍රීවරයා සුරා බදු නිලධාරීන් ඇති අවස්ථාවක විවිධ ප්‍රදේශ වලින් ගෙන්වා ගත් මත්පැන් බෝතල් සාම්පල කීපයක් ඔහු ලවා පරීක්ෂා කර තිබේ.

එහිදී ඇතැම් මත්පැන් බෝතල් සඳහා ව්‍යාජ ස්ටිකර් යොදා ඇති බව හෙළිව තිබේ.

ඒ අනුව පහුගිය කාලය පුරාවට එහෙම ව්‍යාජ ස්ටිකර් යොදා ඇති මත්පැන් බෝතල් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

ඒ අනුව වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආදායමට වංචා කල අරක්කු සමාගම් කිහිපයක බලපත්‍ර අහෝසි කරන්න සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

පසුගිය සමයේ ඉන්ධන ප්‍රශ්නය තිබූ අවස්ථාවේ එය විසඳීමට කිව් ආර් කෝඩ්, මොබයිල් ඇප් ගෙන ඒමට තිබූ උනන්දුව සුරාබදු ආදායම එකතු කරගැනීමට නොතිබීම හා සුරා බදු පැහැර හැරි පුද්ගලයන් හට දඬුවම් ලබා නොදීම විශාල ගැටළුවකි