පොලිස්පතිවරයාගේ පත් කිරීමට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

පොලිස්පතිවරයාගේ පත් කිරීමට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් නිර්දේශයකින් තොරව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොතිබූ බවයි.

එවැනි විධිමත් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් ව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මේ අතර පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින් තවත් පෙත්සම් දෙකක් ද ඉකුත්දා ගොනු කර තිබුණි.