දෙහිවලදී බස් දෙකක් රේස් ඇවිත් ත්‍රීරෝද රථ රියදුරෙකු බිලීගනී

දෙහිවලදී බස් දෙකක් රේස් ඇවිත් ත්‍රීරෝද රථ රියදුරෙකු බිලීගනී

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්‍රීරෝද රථයක් මැදීවී අද (29) උදෑසන 8.50 ට පමණ සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ගල්කිස්ස ටෙම්පල්පාර පලවන හරස් පටුමග අංක 75/86 /සී හී පදිංචිව සිටි ත්‍රීරෝද රථ රියදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් (56) හැවිරිදි එක්දරු පියෙකි.

කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස රැකියාව කරන මරණකරු ඔහුගේ බිරිඳ සමඟ නිවසින් පිටව රැකියා සදහා පැමිණ දෙහිවල මංසන්ධියෙන් සිය බිරිඳව ත්‍රීරෝද රථයෙන් බසවා පසුව ඉදිරියට ධාවනය කරමින් සිටින අවස්ථාවේ දී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සිදු කළ බස් රථ දෙක ගල්කිස්ස දෙස සිට මාර්ගයේ තරඟයට ධාවනය කරමින් රංඩූ වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්දියේ ප්‍රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකිනෙක ඉස්සර කිරීමට උත්සාහ කරනු ලැබූ අවස්ථාවේ එම මාර්ගයේම පැමිණි ත්‍රීරෝද රථය ඉදිරියෙන් ගමන්කල බස්රථයට දකුණු පසින් ගමන් කර ඇති අතර, එම අවස්තාවේදීම පිටකොටුව බස්රථය එම ත්‍රීරෝද රථයද මැදිකර අනතුර සිදු කර ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුර වන අවස්ථාවේ දී දෙහිවල මංසන්ධියේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෙම අනතුර දැක ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සහ අවට පිරිස එක්ව අනතුරට පත් ත්‍රීරෝද රථ රියදුරු හැකි ඉක්මණින් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

අනතුරට පත් රියදුරු රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මරණකරුගේ මොලයට සහ බෙල්ල පිටුපසට සිදුවී ඇති දැඩි හානිය හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ත්‍රීරෝද රථ රියදුරු ද මීට වසර 20කට පමණ කාලයක් බස්රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර පසුව කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස තම රැකියාව කරගෙන ගොස් ඇති අවස්ථාවක මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

පිටුපසින් පැමිණ ත්‍රීරෝද රථයේ ගැටීම හේතුවෙන් පානදුර පිටකොටුව බස්රථයේ රියදුරු වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන ලෝගේශවරම් නැමැති සැකකරු දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිවල පොලිසිය පැවසූහ.

අනතුරින් ජීවිතක්ෂයට පත් ත්‍රීරෝද රථ රියදුරුගේ දේහය කලුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

මෙම සිදූවීමට අදාල කොළඹ මොරටුව බස් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

මේ පිලිබද වැඩිදුර විමර්ශන දෙහිවල පොලිස් රථ වාහන අංශය මඟින් සිදු කරයි.