දැවෙමින් තිබූ දේහය යළිත් වැඩිදුර පරීක්ෂණයකට අරන් යයි

දැවෙමින් තිබූ දේහය යළිත් වැඩිදුර පරීක්ෂණයකට අරන් යයි

මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පල කිරීම හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගිය බව මීරිගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී.සිරිසෝමා රණසිංහ නමැති 81 හැවිරිදි කාන්තාවකි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමණ පෙර දී වැඩිහිටි නිවාසයට භාර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

නේවාසිකව වැඩිහිටි නිවාසයේ කාලය ගත කරමින් සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වී ඇතැයි ද නිව්මෝනියා රෝගී තත්ත්වය නිසා මරණය සිදුවී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

භාරකරුට දැනුම් දීමෙන් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන්, ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අතර මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.