මාළු අල්ලන ගිය පුද්ගලයෙක් වන අලි පහර දීමකින් මරුට

මාළු අල්ලන ගිය පුද්ගලයෙක් වන අලි පහර දීමකින් මරුට

උමාඔයේ මසුන් ඇල්ලීමට ගිය කන්දකැටිය ට්‍රක් 5 ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (24) පස්වරුවේ සිදුවු වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙහිදි මියගිය පුද්ගලයා 42 හැවිරිදි ට්‍රක් 5/2, කන්දකැටිය ,බදුල්ල ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ නන්දසිරි ගුණසේකර නැමැත්තෙක් බවට හදුනාගත් බවද පොලිසිය කියයි.

ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් 5 දෙනෙකු සමග මෙම අය උමාඔය මසුන් ඇල්ලිමට ගොස් ඇති අතර එහි මසුන් අල්ලමින් සිටියදි ඔවුන් සිටි ස්ථානය වෙත වල් අලියෙකු පැමිණෙන බව දුටු මෙම පිරිස දිව ගසකට නැගිමට උත්සාහ කල අවස්ථාවේ දි මියගිය පුද්ගලයා වන අලියාගේ ප්‍රහාරයට ලක්ව බිම වැටි ඇති අතර එහිදි අලියා විසින් මෙම පුද්ගලයා පාගා දමා ඇති බවට විමර්ශන වලදි අනාවරණය වු බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ගේ මෘතදේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කන්දකැටිය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත් බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.කේ දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසිය .