සෞදි ගෘහ සේවයට ගොස් කෲර වද හිංසා වලට ලක්වූ කාන්තාවක් දිවයිනට

සෞදි ගෘහ සේවයට ගොස් කෲර වද හිංසා වලට ලක්වූ කාන්තාවක් දිවයිනට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසන වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ J- 9553 දරන ගුවන් යානයෙන් අද අලුයම 04.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි ඇය මෙසේ පැවසුවාය

“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල , බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර කාන්තාව කිව්වා. මම බිව්වා . එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිරවුණා. මට හුස්ම ගන්න බැරිවුණා.”

ඇය මතුගම නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවකි. ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා , එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් 11/22 දින අලුයම 04.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දර්ශනී මෙසේ පැවසුවාය.

” මම 09.17 දින සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා.

ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා , බැන්නා , පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම, ඒවා පෑගිල , මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා .

මට අමාරුයි, වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉදල, ඒ ගෙදර කාන්තාව මට ගහල, කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ.

මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම , ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල , ඒ ගෙදරට ගිහින් වැඩ කරන්න කියල කිව්වා.”

දර්ශනී රැගෙන යාම සදහා ඇයගේ ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ . ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙකි .

“අපේ ගෙදර ලග ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක් . මම එයාට ගිහින් කිව්වා මේ ගැන . එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.”