ධනුෂ්කට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කරයි

ධනුෂ්කට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කරයි

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සිදු වී ඇති ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කරමින් ඔහුට මේ මාසයේදී දින දෙකක් ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් අධිකරණය අවසර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

තමාට මේ මාසයේ දින දෙකකදී ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර දෙන ලෙස 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අධිකරණයෙන් ඉල්ලා සිටි බවත්, වැඩබලන විනිසුරු ග්‍රීම් හෙන්සන් ඔහුගේ ඉල්ලීමට අවසර දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඔහුගේ ඇප කොන්දේසිවලට අනුව ජාත්‍යන්තර පිවිසුම් ස්ථාන ආසන්නට ගමන් කිරීමේ තහනමක් පනවා තිබූ අතර, එම තහනම මේ සතියේදී දින හතරකට සහ අවසන් සතියේදී දින හතරකට අත්හිටුවීමට ද වැඩබලන විනිසුරු පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේ වුව ද ධනුෂ්ක ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කරන්නේ නම් ඔහුගේ සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය අවම වශයෙන් පැය 48කට පෙර පොලිසියට දැනුම් දෙන ලෙස වැඩබලන විනිසුරුවරයා ඔහුට නියම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි රැසක් මේ වන විට ඉවත් කර තිබුණ ද, සතියකට දින 3ක් පොලිසියට වාර්තා කිරීම සහ එක් ජංගම දුරකතනයක් පමණක් භාවිත කිරීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

එමෙන්ම ඔහුට එල්ල වී ඇති චෝදනාව හේතුවෙන් ඔහුට පෙම් සම්බන්ධතා ගොඩනැඟීමේ වෙබ් අඩවි හෝ එවැනි යෙදුම් භාවිත කිරීම තවදුරටත් තහනම් වේ.