දළදා පෙරහරට විදුලි බල මණ්ඩලයෙන් ලක්ෂ 132ක ලයිට් බිලක් කලින්ම එවලා

දළදා පෙරහරට විදුලි බල මණ්ඩලයෙන් ලක්ෂ 132ක ලයිට් බිලක් කලින්ම එවලා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාළ සීමාවේදී විදුලිය ලබාදීම වෙනුවෙන් රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ නව දහසක (13299010) මුදලක් වැයවන බවට ඇස්තමේන්තුවක් සකස් කර ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලවලට එම මුදල ගෙවන ලෙස විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්.එස්. බණ්ඩාර මහතාගේ අස්සනින් යුතු අදාළ ලිපිය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරු වෙතද යොමුකර තිබේ.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙන මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 21 සිට 31 දින දක්වා වීදී සංචාරය කිරීමට නියමිතය.

එම කාලයේ දී ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය, සතර දේවාල, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර ඇත.

මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් 3412479ක් ද නාථ දේවාලය මගින් 1122145ක් ද විෂ්ණු දේවාලය මගින් 1368385 ක් ද කතරගම දේවාලය මගින් 1102705ක් ද පත්තිනි දේවාලය මගින් 1102705ක් ද, ගෙවිය යුතු බව දැනුම් දී තිබේ.

මහනුවර නගරය තුළ පෙරහර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකරණය සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 4441273ක මුදලක් ද ජනක යන්ත්‍රය සඳහා වැයවන මුදල රුපියල් 749215ක මුදලක් ද වැය කරන බව මණ්ඩලය සකස් කළ ඇස්තමේන්තුවේ දැක්වේ.

මේ අනුව පෙරහර වෙනුවෙන් රුපියල් 13200010 මුළු වියදමක් විදුලි බල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැයකරන බව දැනුම් දී ඇත.

පෙරහර වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල ආලෝකකරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදලට අදාළ ගෙවීම් සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් කරන ලෙස ද විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

විදුලි බල මණ්ඩලය මගින් එවැනි ඇස්තමේන්තුවක් සකස් කර ගෙවීම් කරන ලෙස දැනුම් දී තිබෙන බවත්, මේ සම්බන්ධව ජනපතිවරයා සහ විදුලි බල ඇමැතිවරයා අවධානය යොමුකර සහනයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.

Share This