දෙමසකට පෙර මාතර රෝහලට ගෙන්වූ CT ස්කෑන් යන්ත්‍රය තවමත් ගුවන් තොටුපොළ ගබඩාවේ

දෙමසකට පෙර මාතර රෝහලට ගෙන්වූ CT ස්කෑන් යන්ත්‍රය තවමත් ගුවන් තොටුපොළ ගබඩාවේ

මාතර මහ රෝහල සඳහා ආනයනය කළ CT ස්කෑන් යන්ත්‍රය මාස දෙකකට අධික කාලයක් පුරා කටුනායක ගුවන්තොටු‍පොළේ බහාලුම් අංගනයේ තබා ඇති බවත් එය නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ‍මෙතෙක් කිසිදු පියවරක් ‍ගෙන නොමැති බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එම යන්ත්‍රය ගුවන් මගින් මෙරටට ගෙනැවිත් ඇත්තේ පසුගිය දෙසැම්බර් 16 වෙනිදායි.

මෙවැනි යන්ත්‍ර විශේෂිත උෂ්ණත්ව සහ ආර්ද්‍රතා තත්ත්ව යටතේ ගබඩා කළ යුතු වුවත් දැනට ගුවන් තොටුපොළ ගබඩාවල එවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න ප්‍රශ්න සහගත එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වක් හමුවේ ඉදිරියේදී යන්ත්‍රයේ යහපත් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බවයි.

එසේම මේ වනවිට ගුදම් ගාස්තු ලෙස ද රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් නියම වී ඇති අතර ගුවන්තොටුපොළේ ගබඩාවෙන් මෙම බහාලුම් ඉක්මනින් නිදහස් කර නොගන්නේ නම් ඉදිරියේදී මෙම බහාලුම් විනාශ කිරීමට හෝ වෙන්දේසි කිරීමට සිදුවන බවද දන්වා තිබෙනවා.

මේ වන විට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි හෙයින් දිගින් දිගටම බිඳ වැටීම් සහිතව සීමාසහිත පරීක්ෂණ සංඛ්‍යාවක් පමණක් සිදුකරන බව සඳහන් වනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයට තිබෙන එකම CT පරීක්ෂණ පහසුකම ඇත්තේ මාතර මහ රෝහලට පමණක් බැවින් කොළඹ ජාතික රෝහල් බාහිර රෝගී අංශයට ගැනීමට සූදානම් වූ මෙම යන්ත්‍රය මාතර මහ රෝහලට ලබා දීමට කටයුතු කර ඇත්තේ ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.