වෙළඳපොලේ ඇති සුදු වෙන්න ගාන ක්‍රීම් වර්ග පාවිච්චියට නුසුදුසු බව පරීක්ෂණ වලින් හෙළිවේ

වෙළඳපොලේ ඇති සුදු වෙන්න ගාන ක්‍රීම් වර්ග පාවිච්චියට නුසුදුසු බව පරීක්ෂණ වලින් හෙළිවේ

කාන්තාවන්ගේ සම සුදුවීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවලින් තහවුරුවී තිබේ.

අලෙවිය සඳහා පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ග සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව සිදුවී තිබුණි.

එවැනි ආලේපන වර්ග භාවිත කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත නොකරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන දේශීය වශයෙන් වගකීමක් සඳහන් කර නොමැති, ප්‍රමිතියකින් තොර සහ නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගත් බව එම ඒකකය සඳහන් කළේය.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර වර්ගවල අඩංගු විය හැකි අනුමත රසදිය ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් පමණි.

නමුත් පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් එහි අඩංගුව තිබේ.

රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ශරීරයේ ආලේප කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

Share This