නිවසකට ආ දැවැන්ත කිඹුලා

නිවසකට ආ දැවැන්ත කිඹුලා

දඹුළු හල්මිල්ලෑව කරකොලගල යාය ගමේ නිවසකට ඇතුළු වීමට ගිය අඩි 12කට පමණ ආසන්න දැවැන්ත කිඹුලෙක් ගම්වාසීන් සහ ආඬිගල වනවජීවී නිලධාරීන් විසින් අද (14) අළුයම අල්ලාගෙන විල්පත්තුව අභය භූමිය වෙත මුදා හැරීමට කටයුතු කර තිබේ.

ගමේ නිවසක දොරට මහා ශබ්දයෙන් යමක් ගැටෙන හඬ ඇසී අළුයම අවදි වූ නිවැසියන් විසින් සිය නිවසට ඇතුළුවීමට උත්සාහ කරන මෙම දැවැන්ත කිඹුලා දැක අවට ගම්වාසීන් දැනුම්වත් කර ඇත.

ඒ අවස්ථාවේ ආඬිගල වනජීවි කාර්යාලයට ඇමතුමක් දී වනජීවී නිලධාරින් සමග එක්ව කිඹුලා අල්ලා විල්පත්තු කැලයට මුදා හැරීම සඳහා රැගෙන ගොස් තිබේ.

ප්‍රදේශය අවට ජලාශ වල මරණීය කිඹුල් ව්‍යසනයක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ජීවිත ගණනක් කිඹුලුන්ට බිලි වූ බවත්, ජලාශයකට බැසීමට නොහැකි තත්ත්වයක් ඇතැම් ගම්මාන ආශ්‍රිතව නිර්මාණය වී ඇති බවත්, කියන ප්‍රදේශවාසීන් මෙම කිඹුල් ගහණය වැඩිවශයෙන් ඇත්තේ ඉබ්බන් කටුව ඔය ආශ්‍රිතව බවත් එම සතුන් අවට ජලාශ වෙත නිරන්තරයෙන් සංක්‍රමණය වන බවත් පවසයි.

වන අලින්ගෙන් රිලවුන්ගෙන් වඳුරන්ගෙන් ඇතුළු කැලෑ සතුන්ගෛන් නිරන්තර පීඩාවට පත්වන තමන්ට අඩුපාඩුවක්ව තිබුණේ ජලාශවල සිට කිඹුලන් ගොඩට පැමිණීම පමණක් බව කී ප්‍රදේශවාසියෙක් දැන් සියල්ල සම්පූර්ණ බව පැවසීය.