නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10කට නඩු

නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10කට නඩු

ශ්‍රී ලංකා මුහුදු තීරයට නීතිවිරෝධී අයුරින් ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ට්‍රෝලරය අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාව හප්පා නාවික හමුදා සුළු නිලධාරියකු මරණයට (පෙටි ඔෆිසර්) පත්කළ සිද්ධියේ ඉන්දීයන් ජාතිකයන් දසදෙනාට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවැරීමට කන්කසන්තුර පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධ‍ව නාවික හමුදාව කරන පරීක්ෂණයේ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන බවත් නාවික සුළු නිලධාරියා මරණයට පත්වීම ගැන මිනීමැරුම් චෝදනා යටතේ පොලිසිය විමර්ශන කරන බවත් නාවික හමුදාව පවසයි.

මෙම ඉන්දීය ට්‍රෝලරය නාවික හමුදා යාත්‍රාවේ හැප්පවීමේදී නාවික යාත්‍රාවේ සිටි සුළු නිලධාරියා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවේ තිබූ යකඩ බටයකට හා නාවික යාත්‍රාවේ සවිකර තිබූ කාල තුවක්කුවට සිරවී තුවාල ලබා ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු රෝහල් ගත කළ පසු මියගොස් ඇත.

ඉන්දීය ධීවරයන් අතින් මරණයට පත්වී ඇත්තේ කුඹුක්ගැටේ, හිපටුව, ඉහළගම පදිංචි නාවික හමුදා සුළු නිලධාරී ඩී.පී. රත්නායක (41)ය.

මෙම සිද්ධිය වන අවස්ථාවේදීත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දහස් ගණනක් මෙරටට මුහුදු සීමාවට බලෙන් ඇතුළු වී මසුන් මරමින් සිට ඇත.

Share This