නිල් කටරොළු තේ අපනයනය කරන ගමක්

නිල් කටරොළු තේ අපනයනය කරන ගමක්

නිල් කටරොළු මල් (Butter Fly Fee Flower- Clitoria Terentea) ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.

විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර වලස්මුල්ල ඔමාරගම කාන්තාවෝද නිල් කටරොළු මල් වගාවට අවතීර්ණව සිටිති.

වේලන ලද නිල් කටරොළු මල් පුද්ගලික සමාගමක් මඟින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමඟින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකි වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) ඔමාරගම ගමේ නිල් කටරොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.

දැනට පවතින මිල ගණන් අනුව වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය වේ.

ඔමාරගම ගමේ කාන්තාවෝ 60ක් පමණ දැනට මෙම වගාවේ නියැලී සිටිති. ඉදිරි අප්‍රේල් හා මැයි මාසය නිල් කටරොළු මල් බහුල කාලය වේ.

එම කාලයේ වැඩි ආදායමක් උපයා ගැනීමට ද හැකි බව එම කාන්තාවෝ අමාත්‍යවරයා සමග පැවසූහ.