අලුත් සන්ධානයේ චන්ද්‍රිකා ලකුණ

අලුත් සන්ධානයේ චන්ද්‍රිකා ලකුණ

මේ රහස් කවුළුවට දැන්දැන් පේන තරමක් දේශපාලනික දේවල්ය. සමහර විට ඡන්ද උණුසුම එන්න එන්නම වැඩිවෙන නිසා අනෙක්වාට වඩා දේශපාලන කාරණා ඉහළට මතු වී පෙනෙනවා වන්නටද පුළුවන. ඒ කොහොම වෙලා හෝ ලියන්නට අලුත් අලුත් මාතෘකා ලැබෙන එක නම් හොඳය.

මේ සතියේ දේශපාලන කක්ෂගත වෙන මාතෘකාව ‘චන්ද්‍රිකා’ වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. අප එසේ කියන්නේ පොලිටිකල් මෙව්වා එකේ මේ දවස්වල එහෙ මෙහෙ වෙන ආරංචි අපටත් කණින් කොණින් ඇහෙන නිසා ය.

චන්ද්‍රිකා කොහොමටත් ලංකා දේශපාලනයේ පෙරළිකාර චරිතයකි. එමෙන්ම සෑහෙන බලපෑමක් කළ හැකි අයෙකි. එය ඈ දේශපාලනයට ආ කාලයේ සිටම පෙන්නුම් කළ එකකි. යම් පමණකින් රැස් බැස තිබුණද අදටත් චන්ද්‍රිකාගේ ඒ ‘පවර් එක’ අඩුවක් වී නැත.

එමෙන්ම ලංකාවේ සභාග ආණ්ඩු පිහිටුවීමට ඈ උපන් හපන්ය. අම්මා පිහිටු වූ සමගි පෙරමුණු ආණ්ඩුව වගේම එකක් 94දී පොදුජන එක්සත් පෙරමුණ හරහා චන්ද්‍රිකා හැදුවාය. 2004 බුලත් කොළය දිනවන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවාය. 2015 යහපාලන ආණ්ඩුව හදන වෙලේද ක්‍රියාකාරීව හිටියාය.

දැන් ආරංචි වෙන විදියට මේ වෙලාවේ රට ඇතුළේ හැදෙන ප්‍රධානම සන්ධානයක නායකත්ව මණ්ඩල ප්‍රධානී තනතුරද ඇයට ලැබිලාය. ඒ අනුව, පෙර අත්දැකීම් අනුව කිවහැක්කේ ඒ හදන සන්ධානය ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ සුළුකොට තැකිය නොහැකි බව ය.

පෙර සෑම අවස්ථාවකම තිබූ දේවලින් ඇයට මේ වතාවේ නැත්තේ එක ය. ඒ මංගල සමරවීර සාධකයයි. එය පිරිමැසිය නොහැකි අඩුවක් වුවද ඒ අඩුව මකන ටීම් එකක් හදාගැනීම චන්ද්‍රිකාට අසීරු නොවනු ඇත්තේ ඇය මේ වැඩේ ඇතුළේ හොඳට තෙම්පරාදු වී සිටින නිසාය.

කෙසේ වෙතත් අපට පේන විදියට නම් ඇයට නායකත්ව මණ්ඩල ප්‍රධානීත්වය ලැබී ඇත්තේ නිකම්ම නොවේ. මේ වෙලාවේ තැන් තැන්වල දුවන විවිධ දේශපාලන කණ්ඩායම් බොහෝමයක් අවනත කරගැනීමට සහ ඔවුන් සමග ඒ ඒ පරිදි කටයුතු කිරීමට හොඳම විභවය ඇත්තේ චන්ද්‍රිකාට වන නිසා විය හැකිය.

එහෙත් අපට මේ දක්වා අපැහැදිලි එක් දෙයක් තිබේ. මේ සියල්ල වෙනුවෙන් මේ කැම්පේන් එක අවසානයේ පෙරළා ඇයට ලැබෙන්නේ කුමක්දැයි යන්නයි. බොහෝ විට ඊළඟට ඔය අලුතින් හැදෙන සන්ධානය ගොඩනගන ආණ්ඩුවේ අගමැති ධුරය විය හැකිය. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇයට යළිත් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන්නට අවස්ථාවක් නොලැබෙන නිසා ය.

අපේ අනුමානය නිවැරදි නම් මේ සන්ධානය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඇයට ලැබෙන ප්‍රතිලාභය සෑහෙන තරම් ලොකුය. මේ සියල්ල සලකා බැලීමේදී මේ සතිය චන්ද්‍රිකා සතිය වුවද කම් නැත. ඒ දේශපාලනිකව චන්ද්‍රිකා ලකුණට සෑහෙන ප්‍රබල තරමේ ලංසුවක් තැබිය හැකි බැවිනි.

එහෙත් චන්ද්‍රිකා මුලසුනට ඇවිත් හොට් සීට් එකට ගෙන්නන්නේ කවුදැයි යන්න මත මේ සෙල්ලමේ ආසි සහ වල්වාසි ගැන කතා කළ හැකි වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ගෙනාවද, ලන්සා පිලෙන් අනුර ප්‍රියදර්ශන ගෙනාවද, මේ සන්ධානයට එක්වන වෙනත් පක්ෂයක නායකයෙක් ගෙනාවද ලොකු රේස් එකක් දුවන්නට නොහැකි බව අපේ අදහසයි. මන්ද යත් එවැනි ශක්‍යතාවක් සහිත ජොකියෙකු ඔය කියන පක්ෂවල නැති හෙයිනි. දයාසිරි ජයසේකර විතරක් මීඩියාවලට මාකට් කළ හැකි මට්ටමේ දුරකින් සිටියද අනිත් සියල්ලෝ රේස් එකේ ගව්ගාණක් දුරිනි.

එහෙත් අප කලින් ලියූ පරිදි ජනතා විමුක්ති පෙරමුණ භීතිකාවෙන් පෙළෙන තලකොටුවේ උස හාදයාට නම් මේ සන්ධානය තුළ ලොකු ඉඩක් ඇති බව පෙනෙයි. අනික් අතට චන්ද්‍රිකාට පෑහෙන තරම් දේශපාලනික සවිමත් අයෙකුට ඇත්තේද චම්පික පමණි. මන්ද යත් චන්ද්‍රිකා ඇගේ පාලන කාලය තුළ නව්‍යතා පිළිබඳ උනන්දුවෙන් කටයුතු කළ බව අපට මතකය. මෙහෙමය කියා කිවහැකි විශේෂ වැඩ කොටසක් නොකළද, කළ ඒවා ඉදිරිගාමී ය. අනෙක් අතට චන්ද්‍රිකාට දූෂණ හෝ සොරකම් ගැන චෝදනා නැත. එනිසා චම්පිකටද චන්ද්‍රිකා සමග එකඟ වීමේ අවුලක් ඇතැයි සිතිය නොහැකිය. 2004 මෙන්ම 2015ද එකට වැඩ කර ඇති අවබෝධය සහ පුරුද්ද ද ඊට ඉවහල් වනු ඇත.

කෙසේ වුවද මේවා මේ රහස් කවුළුවෙන් පිටත බලා සිටින විට අපට හිතෙන මනස්ගාත විතරය. මන්ද එදා වේල ටුවර්ස් දේශපාලනය කරන ලංකාවේ උන්දැලාට පාර්ලිමේන්තු සීට් එක ෂුවර් නම් ආපහු ගෝඨා ජනාධිපති වුණත් කමක් නැත. මෙහේ වැඩ කෙරෙන්නේ එහෙම ය.

ඒ හින්දා අපට හිතෙන ඒවා ඇත්ත වෙනවා නම් හොඳ මිස, ඇත්ත වෙනු ඇතැයි හිතන්නට අපිද ඉක්මන් වෙන්නේ නැත.

කොත්මලේ රංග

Share This